BannerFans.com

ජෝතිපාල මිතුරු සමාජයේ ලේකම්වරිය මල්ලිකාගේ දුක්බර කතාව

ජෝති අයියා උන්නා නම් මම මෙහෙම අසරණ වෙන්නෑ

එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාණන් වියෝ වී ගෙවී ගිය පසුගිය වසර විසිපහ පුරාම ඇය ජෝතිපාලයන් වෙනුවෙන් එවැනි කවි පන්ති ගණනාවක් ම ලියුවා ය. එසේ ම ඇය ලේකම්වරිය ලෙස කටයුතු කරන ‘එච්.ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම’ හරහා ජෝතිපාල සමරු වැඩ සටහන් උදෙසා සිය දායකත්වය ලබා දෙමින් අගය කළ හැකි කාර්ය භාරයක් ඉටු කළා ය. එහෙත් දිවි ගමන හුදකලාවම යනෙන ඇය ජීවත් වෙන්න ස්ථිර ආදායමක් හෝ හිසට සෙවණක් හෝ නොමැතිව අද අසරණව හිඳින්නී ය.
“රසඳුන” මෙම අනාවරණය කරන්නේ දශක ගණනාවක් පුරා ජෝතිපාලයන්ගේ ගීත රසිකාවියක් ලෙසින් ඉමහත් කැපවීමකින් යුතුව ජෝති ගැයූ ගීත පට, පදමාලා, ජෝති පිළිබඳ පළ වූ පුවත්පත් ලිපි, ජෝතිගේ තොරතුරු සහ ඡායාරූප සංරක්ෂණය කරමින් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවා ඇති මල්ලිකා යූ. ලියනගේ පිළිබඳ සත්‍යය ජෝති ගීත ලෝලීන්ගේ දැන ගැනීම පිණිස ය.


මුලින් ම ඇය අප සමඟ පැවසුවේ මෙවර එච්.ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන ‘අමරණීය ජෝති’ ගීත ප්‍රසංගය ඇතුළු අනිකුත් වැඩසටහන් පිළිබඳ ය.
“ජූලි හත්වෙනිදා (අද) උදේ දහයට බොරැල්ල කනත්තේ පිහිටි ජෝති ගී සෑයට මල්දම් උපහාර පුදා අප මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම මඟින් අපේ ආදරණීය ජෝති අයියාව අනුස්මරණය කරනවා. සවස හයට මරදාන ටවර් රඟහලේ දී ජනප්‍රිය ගායක ගායිකාවන් ජෝති අයියාගේ ජෝතිමත් ගීත ගායනා කරන ‘අමරණීය ජෝති’ ගීත ප්‍රසංගය පැවැත්වෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙයට සහභාගි වන අතර ප්‍රධාන දෙසුම පවත්වන්නේ ජැක්සන් ඇන්තනී. ‘ආදරණීය ජෝති’ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ අර්නස්ට් සොයිසායි.”
. මාළිගාවත්තේ ජෝතිපාල පිළිරුව අසලදී සමරු වැඩසටහනක් පැවැත්වෙන්නේ නැද්ද?
“නැහැ, එහිදී විශේෂ සමරුවක් කෙරෙන්නේ නැහැ. ජෝති අයියාගේ උපන් දිනය යෙදෙන පෙබරවාරි 12 වැනිදා තමයි එතැනදී සමරු උත්සවයක් අප පවත්වන්නේ.”
. ඔබ ලේකම්වරිය ලෙස කටයුතු කරන ‘එච්.ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම’ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවාද...?
“අපේ මේ එකමුතුවේ සභාපතිනිය ජෝති අයියාගේ බාල දියණිය ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාලයි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක පද්මසිරි කොඩිකාර, කැසට් නිෂ්පාදක ඩබ්ලිව්. ජයසේන ද අල්විස් අනුශාසකවරු ලෙසත් ප්‍රියන්ත උදයකුමාර ප්‍රධාන සංවිධායක ලෙසත් මා ලේකම්වරිය ලෙසත් කටයුතු කරන අතර අංක - 20, මැගසින් පාර, බොරැල්ල, කොළඹ - 08 ලිපිනයේ මෙය පවත්වා ගෙන යනවා. අපි මෙය ආරම්භ කළේ 2010 දීයි. ජෝති අයියාගේ ගීත රසවිඳින රසික රසිකාවියන් එක්රැස් කිරීමත්, මතු පරම්පරා උදෙසා ජෝති අයියා ගයා ඇති ගීත ආරක්ෂා කර තැබීමත් අපේ ප්‍රධාන පරමාර්ථයයි.‍”
. මෙම එකමුතුවෙන් දැනට ඉටු කෙරී හෝ යෝජනා කෙරී ඇති වැදගත් ක්‍රියා මාර්ග මොනවාද...?
“දිවයින පුරා සිටින ජෝති අයියාගේ ගීත රසවිඳින විශාල රසික රසිකාවියන් පිරිසක් අපි දැනට මේ එකමුතුවට එක් රැස් කරගෙන තිබෙනවා. ඔවුන් හා එක්වී ජෝති අයියා වෙනුවෙන් අනුස්මරණ උත්සව සහ වැඩසටහන් සංවිධානය කර තියෙනවා. ජෝති අයියා වෙනුවෙන් කෞතුකාගාරයක් අපි ඉල්ලා ඇති අතර ජෝති අයියා ජීවත් වූ මාළිගාවත්ත ‘ජෝතිපාලපුරය’ ලෙසින් නම් කරන ලෙසත් යෝජනා කර තිබෙනවා. එමෙන් ම ජෝති අයියා නමින් නිවාස සංකීර්ණයක් ඉඳි කරන්නත් යෝජනා කෙරුණා‍.
. ඔබ මුලින් ම ජෝති අයියාගේ ගීත රසිකාවියක් වූ අයුරු ඔබට මතකද...?
“අපෝ... ඔව්. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. අපේ ගමේ මඟුල් ගෙදරක බැඳ තිබුණු ස්පීකරයකින් ජෝති අයියා ගැයූ ‘මුලදි බැන්ද ආදරයක මිහිර දැන්’ ගීතය ඇසීමෙන් තමා මුලින් ම ‍මම ජෝති අයියාගේ ගී අහන්න පෙලඹුණේ‍. අදහස ගැන තේරුමක් ඇතිව නෙමේ ‍මං එ‍හෙම පෙලඹුණේ. ඒ ගීතයේ මුලටම ජෝති අයියා ‘මගෙ අත ඔබට හැර’ යනුවෙන් ගයන කවියට තමයි වැඩියෙන් ම ආසා හිතුණේ. ඊට පස්සේ මගේ අක්කා ජෝති අයියාගේ ‍ෙෆ‍ාටෝ එකක් අලවා තිබුණු සින්දු පොතක් මට පෙන්නුවා. එහෙම ටික ටික මං ජෝති අයියාගේ ගීත අහන්නත් ඔහුගේ ගීත ලිපි, ඡායාරූප එකතු කරන්නත් පුරුදු වුණා. මං ඉන්න කාමරේ පුරවලා තියෙන්නේ ඒවා වලින් තමයි.
 1973 අගෝස්තු මාසේ 19 වැනිදා මහනුවර දී පැවැත්වූ ‘ඇසළ මේලා’ ප්‍රසංගයේ දී තමයි පළමුවෙන් ම ජෝති අයියා සමඟ මම කතා කළේ. ඉන්පසු ‘ජෝති රාත්‍රිය’ ප්‍රසංගවලදී හමු වී කතාබහ කිරීමෙන් ජෝති අයියාගේ රසික හිතවතියක් වෙන්න මට හැකි වුණා. ඔහු අද ජීවතුන් අතර නැති වුණත් මගේ හිතවත්කම මම මියයන තුරුම අඩුවක් වෙනසක් වෙන්නේ නැහැ. මම කැමැති හැමදාමත්ම ජෝති අයියාගේ ගීත රසික හිතවතිය ලෙස මාව හඳුන්වනවාටයි.”
. ඔබව මුලින් ම අප හඳුනා ගත්තේ ‘පොල්ගොල්ලේ මල්ලිකා’ ලෙසයි. ඉන්පසු ඔබ ‘පල්ලේතලවින්නේ මල්ලිකා’ වුණා. දැන් ඔබ ‘ගෙලිඔය මල්ලිකා’ වෙලා. එලෙස වෙන්නේ ඇයි...?
“ඇත්තම කියනවා නම් ඊට හේතුව තමයි මට ස්ථිර පදිංචියට නිවෙසක් නැතිකම. මගේ පියා පොලිස් සැරයන්වරයෙකු ලෙස රාජකාරිය කළ පුද්ගලයෙක්‍. පියා විශ්‍රාම ගත් පසු අපි උන්නේ කුලී නිවාස වල. ඒත් අද මගේ පියාත් මවත් ජීවතුන් අතර නැහැ. දැන් මං මේ ලෝකේ තනිවෙලා‍. ඇඳුම් මහන්න සහ පැච් වර්ක් මට පුළුවන්. ඒත් මේ ගමේ මට කුලී ඇඳුමක් මහන්න වත් ලැබෙන්නේ කලාතුරකිනි. පුංචි දරුවන්ට ඇඳුම් ටිකක් මැහැව්වා විකුණාගන්න හිතාගෙන. අනේ, ඒත් ඒවා කවුරුත් ගන්නේ නැහැනේ මගේ ම අසරණකමට.
මට පැච් වර්ක් පුළුවන් හින්දා ඒ සඳහා පාඨමාලාවක් ආරම්භ කළා. කෝ කිසිම කෙනෙක් ආවේ නැහැ ඉගෙන ගන්න. පසුගිය දිනවල මැහුම් සාප්පුවල වැඩ ඉල්ලගෙන ගියත් එහෙම වැඩක් වත් හරි ගියේ නැහැ. මේ ප්‍රශ්න මං කාට කියන්නද දෙවියනේ, ඉතින්...? මට මගේ ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්තයි. ඒත් අපේ බුද්ධාගමේ හැටියට ඒක ගෙවා ගන්න බැරි පවක් වෙන හින්දා ඉවසාගෙන උන්නත් තව කොච්චර කල් නම් මෙහෙම ඉන්නද මං.”
. ඔබට පදිංචියට සුදුසු නිවෙසක් කවුරුන් හෝ ලබා දෙනවා නම් ඔබට සහනයක් වේද...?
“සත්තකින් ම කවුරු හරි මට ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයකින් ඉන්න තැනක් ලබා දෙනවා නම් එය මට ලොකු සහනයක් වෙනවා. එවිට පුළුවන් තරම් කාලයක් මට ජෝති අයියා වෙනුවෙන් මොන දුක් කරදර මැද වුණත් මිතුරු සමාජයේ වැඩ කටයුතුත් කරගෙන ජීවත් වෙන්න කුමක් හෝ ස්වයං රැකියාවක් කරන්න නිදහසක් ලැබේවි. පැච් වර්ක් පාඨමාලාවක් කරගෙන, කුලී ඇඳුමක් මහගෙන හෝ එළවළු, පළා මොනවා හරි වවාගෙන විකුණා ගෙන හෝ ජීවත් වෙන්න එවිට මට පුළුවන්නේ.
අනේ, ඇත්තමයි - මේ තනි මට ඉන්න තැනක් කවුරු හරි ලබා දෙනවා නම් ඒක ඔහුට හෝ ඇයට ලොකු පිනක් වෙනවා නිසැකයි. කවුරුන් හෝ එවැනි කෙනෙකු ඉන්නවා නම් මගේ 072 3493455 දුරකථනයට අමතන්න කියන්න. නැතිනම් අංක 230, දෙල්අංග, ගෙලිඔය යන දැනට මා පදිංචි වී සිටින ලිපිනයට ලියන්න කියන්න. ජෝති අයියා උන්නා නම් මං මේ තරම්ම අසරණ වෙන්නේ නැහැ. මොනවා කරන්නද, ජෝති අයියා හදිසියේ ම වියෝ වුණෙත් මගේ ම අවාසනාවටම වෙන්න ඇති.”

0 comments:

Post a Comment